Thursday, November 13, 2014

ප්‍රවාහනයේ ආරක්ෂාව....

Best Blogger Tips



ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් හෝ යම් දෙයක් යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගෙන යාමයි. ගුවන් මගින්, ජලයෙන්, මහාමාර්ග මතින්, රැහැන් මගින්, නළ මාර්ගයෙන් හෝ අවකාශය හරහා ප්‍රවාහනය වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රවාහන ක්‍රම වන අතර තාක්ෂණයේ දියුණුවත් සමග සියලූම ප්‍රවාහන ක්‍රම එහි උපරිම කාර්යක්ෂමතාවය කරා ලගා වෙමින් පවතී. වර්තමානයේ මෙම දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවකු නොසිතූ විරූ අයුරින් ලොව වෙනස් කිරීමට සමත්ව ඇත. ලෝ ජනයාගේ එදිනෙදා ජීවිතය මෙන්ම ව්‍යාපාරික ලෝකයද නොසිතූ මට්ටමක් කරා ගෙන යාමට වර්තමානයේ මෙම දියුණු වෙමින් පවතින ප්‍රවාහන පද්ධතිය හේතු කාරක වී ඇත.

අතීතයේ දින ගණන් මිඩංගු කිරීමට සිදුවූ ගමන් අද පැය කිහිපයක් තුල යාමට හා ඒමට අවස්ථාව උදා වී ඇත. පැය ගණන් මහමග ගත කල අප අද මිනිත්තු කිහිපයක් තුල ඒ අවශ්‍යතාවය ඉටුකර ගනී. පයින් ගමන් කල අවධියේ සිට අශ්වයන්, බූරුවන් මතින් ගමන් කර පසුකාලීනව එම සතුන් ලවා අද්දවා ගත් වාහන මගින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත් අවධිය පසු කර මෝටර් වාහන මගින් ප්‍රවාහනය දක්වා අප තාක්ෂණය දියුණු වී ඇත. මෙම තාක්ෂණික අවධියේ ආගමනයත් සමගම විවිධ පන්නයේ මෝටර් රථ, වෑන් රථ, බස් රථ, මෝටර් සයිකල් වෙළදපලට මෙන්ම මහමගටද හදුන්වාදීම ආරම්භ වූ අතර මහමග ආරක්ෂාව පිළිබද අවශ්‍යතාවයද මතු වන්නට පටන් ගත්තේය.

ලොව ප්‍රථම මාර්ගය තැනූවන් ලෙස සටහන් වන්නේ ආදී මිසපොතේනුවන් වන අතර ඒ වර්ෂ 4000 BC ලෙස සටහන් වේ. එදින් පටන් විකාශනය වූ අප මහාමාර්ග පද්ධතිය වර්තමානයේ අතිවිශාල අධිවේගී මාර්ගයන් දක්වා විහිදී ඇත. මෑත ශ්‍රී ලංකාවේ ආර්ථික විජයග්‍රහණයත් සමග අප රටට දායාද වූ අධිවේගී මාර්ගයන්, ගුවන් පාලම් හා මාර්ග ආරක්ෂණ පද්ධති එම සදහන් කල මහාමාර්ග විකාශනයේ නවමු පැතිකඩ මනාවට විදහා දක්වයි.

වර්තමාන වෙළදපලට ඉදිරිපත් වන, හදුන්වා දෙන මෝටර් රථ විවිධ පන්නයේ ඒවා වන අතරම විවිධ වේග පරිමාවන්ගෙන් හා විවිධ හැකියාවන්ගෙන් සමන්විතය. මෑත කාලීනව වෙළදපොල ආක්‍රමණය කිරීම සදහා මෝටර් රථ නිෂ්පාදකවරුන්ට ඉහත දැක්වූ අංගයන් මෙන්ම තවත් විශේෂාංගයක් ඇතුලත් කල යුතු විය. ඒ නම් පාරිභෝගික ආරක්ෂාවයි. මහමග තම ගමනේ ඉක්මන් බව හා සුවපහසුව මෙන්ම තම ජීවිතාරක්ෂාව පිළිබදව සමාන සැලකිල්ලක් පාරිභෝගිකයා විසින් දැරීම එයට හේතුවයි.

වඩාත් තාක්ෂණික අයුරින් උසස් කරන ලද ආරක්ෂක පද්ධති, වැඩි දියුණු කරන ලද ප්‍රධාන/තිරිංග ලාම්පු පද්ධති, මීදුම හෝ හේතුන් නිසා අපැහැදිලි නොවන වීදුරු, ටයර් හා තිරිංග පද්ධති නිසා වර්තමානයේ බිහිවන මෝටර් රථ හුදෙක් පාරිභෝගික ආරක්ෂාව කේන්ද්‍රකර ගනිමින් නිපදවනවා සේ පෙනී යයි.

වාහනයේ ආරක්ෂිත අංග මෙන්ම මහමග ආරක්ෂක පද්ධතියන් නියමාකාරව ක්‍රියාත්මක වීමද ප්‍රවාහන අනතුරු වළක්වා ගැනීමට හේතු සාධක වන ප්‍රධාන කරුණකි. කෙතරම් අධිවේගී මාර්ග තැනුවද, මාර්ග පද්ධතිය දියුණු වුවද මාර්ග සංඥා, මාර්ග නීති හරිහැටි යාවත්කාලීන නොවේ නම් එම සංවර්ධනයෙන් පලක් නැත. අප රටේ මාර්ග සංවර්ධනයත් සමගම මාර්ග සංඥා, මාර්ග නීති නිසි තත්වයෙන් නඩත්තු කිරීම සදහා ගෙන ඇති පියවර සතුටුදායකය.

මාර්ග පද්ධතිය අන්තර්ජාතික තත්වයන්ට අනුගතව තනා තිබූවත්, ලොව සුපිරිතම ආරක්ෂන පද්ධතිය වාහනයේ ස්ථාපිත වී තිබුනත් ඒ සියල්ල හරිහැටි භාවිතය අප සැමගේ වගකීමයි. මහමග රිය පදවන රියදුරු වේවා, මග දෙපසින් ගමන් ගන්නා පදිකයන් වේවා අප ඔබ සියල්ලන්ම මාර්ග නීති නියමාකාරයෙන් දැන සිටිය යුතු වන අතර ඇති සිටියෙන් ඒවා පිළිපැදිය යුතු වනවා. අපරික්ෂාකාරී, නොසැලකිලිමත් ක්‍රියාකාරකම් (උදා: බීමතින් රිය පැදවීම, පාරේ වමෙන් ගමන් කිරීම) වලින් මිදී කටයුතු කිරීම මගින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් අප වගකීම් ඉටුකල හැක.

ව්‍යාපාරික ලෝකයේදී ප්‍රවාහනය යනු ඉතාමත් වැදගත් අංශයක් වන අතර ව්‍යාපාරයේ කලමණාකාරීත්වය මෙන්ම සියලූම පරිපාලන අංශ මේ පිළිබදව වඩා අවධානයක් යොමු කරයි. වෙළදපොල ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබා දීම වෙනුවෙන් තම නිෂ්පාදිත යොමු කිරීම සදහා ප්‍රවාහනය ප්‍රධානම සාධකයක් වේ. වර්තමානයේ බොහෝ දියුණු ව්‍යාපාර තම ප්‍රවාහන අංශය ශක්තිමත් කර ගන්නවාත් සමගම තම රියදුරන්, රියදුරු සහයකයින් මාර්ග නීති හා මහ මග හොද හැසිරීම් පිලිබද මනා පුහුණුවකින් සන්නද්ධ කිරීම සිදු කරයි. ඒ සදහා විශේෂිත වූ පාඨමාලාවන් ද දැන් දැන් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන මගින් ලබා දෙන අතරම විශේෂ පුහුණුව ලත් රියදුරෙකු / සහයකයෙකු ලෙස එම පුද්ගලයන්ට සහතික පත්‍රද පිරිනැමෙන අතර එම සහතික පත්‍ර රැකියා ජීවිතයේදී එම පුද්ගලයන්ට වඩා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ක්‍රමයන්ට එහා පියවරක් ද තබමින් තවත් ආයතන තම ප්‍රවාහන අංශයේ ආරක්ෂාව හා සේවක සුරක්ෂිතතාව වෙනුවෙන්ම සුරක්ෂිතතා කළමණාකරුවකු පත් කර ප්‍රවාහන අංශය අනතුරු වලින් තොර ඵලදායී සේවා අංශයක් කිරීම සදහා වගකීම් පවරනු ලබයි. විවිධ අභිප්‍රේරණ ක්‍රියාවලියන් මගින් ද මහ මග අනතුරු වැලකීම සදහා සමහර ආයතන ඇප කැප වී සිටී. උදාහරණයක් ලෙස පෝස්ටර්, දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම, රූපවාහිනී / ගුවන් විදුලි දැන්වීම් පල කිරීම වැනි දෑ දැක්විය හැක.

ආයතනික මට්ටමින් මෙවන් උත්තේජන දැයට ලබා දුන්නද, රජය විසින් මහාමාර්ග පද්ධතිය සුවිසල් සංවර්ධනයකට ලක් කොට ඇති වුවද, අති නවීන ආරක්ෂන තාක්ෂණය අප සතු වුවද බස් එකේ පාපුවරුවේ යාම හුරේ වැඩේ යයි සිතන, සිතූ තැනින් මහ මග මාරු වන්නට හිමිකම් ඇතැයි සිතන, වාහනය තනි රෝදෙන් යවා නයිට් රයිඩර්ලා වන්නට තනන අපේ සමහර අයියලා අක්කලා එක්ක මේ වැඩේ බැරිය...


නමුත්, දෙයියනේ කියා මහමග සීරුවට යන්නට අපට පුළුවන...

No comments:

Post a Comment

Your Commentoos ... !