Thursday, November 13, 2014

ප්‍රවාහනයේ ආරක්ෂාව....

Best Blogger Tips



ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් හෝ යම් දෙයක් යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගෙන යාමයි. ගුවන් මගින්, ජලයෙන්, මහාමාර්ග මතින්, රැහැන් මගින්, නළ මාර්ගයෙන් හෝ අවකාශය හරහා ප්‍රවාහනය වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රවාහන ක්‍රම වන අතර තාක්ෂණයේ දියුණුවත් සමග සියලූම ප්‍රවාහන ක්‍රම එහි උපරිම කාර්යක්ෂමතාවය කරා ලගා වෙමින් පවතී. වර්තමානයේ මෙම දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවකු නොසිතූ විරූ අයුරින් ලොව වෙනස් කිරීමට සමත්ව ඇත. ලෝ ජනයාගේ එදිනෙදා ජීවිතය මෙන්ම ව්‍යාපාරික ලෝකයද නොසිතූ මට්ටමක් කරා ගෙන යාමට වර්තමානයේ මෙම දියුණු වෙමින් පවතින ප්‍රවාහන පද්ධතිය හේතු කාරක වී ඇත.

අතීතයේ දින ගණන් මිඩංගු කිරීමට සිදුවූ ගමන් අද පැය කිහිපයක් තුල යාමට හා ඒමට අවස්ථාව උදා වී ඇත. පැය ගණන් මහමග ගත කල අප අද මිනිත්තු කිහිපයක් තුල ඒ අවශ්‍යතාවය ඉටුකර ගනී. පයින් ගමන් කල අවධියේ සිට අශ්වයන්, බූරුවන් මතින් ගමන් කර පසුකාලීනව එම සතුන් ලවා අද්දවා ගත් වාහන මගින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත් අවධිය පසු කර මෝටර් වාහන මගින් ප්‍රවාහනය දක්වා අප තාක්ෂණය දියුණු වී ඇත. මෙම තාක්ෂණික අවධියේ ආගමනයත් සමගම විවිධ පන්නයේ මෝටර් රථ, වෑන් රථ, බස් රථ, මෝටර් සයිකල් වෙළදපලට මෙන්ම මහමගටද හදුන්වාදීම ආරම්භ වූ අතර මහමග ආරක්ෂාව පිළිබද අවශ්‍යතාවයද මතු වන්නට පටන් ගත්තේය.

ලොව ප්‍රථම මාර්ගය තැනූවන් ලෙස සටහන් වන්නේ ආදී මිසපොතේනුවන් වන අතර ඒ වර්ෂ 4000 BC ලෙස සටහන් වේ. එදින් පටන් විකාශනය වූ අප මහාමාර්ග පද්ධතිය වර්තමානයේ අතිවිශාල අධිවේගී මාර්ගයන් දක්වා විහිදී ඇත. මෑත ශ්‍රී ලංකාවේ ආර්ථික විජයග්‍රහණයත් සමග අප රටට දායාද වූ අධිවේගී මාර්ගයන්, ගුවන් පාලම් හා මාර්ග ආරක්ෂණ පද්ධති එම සදහන් කල මහාමාර්ග විකාශනයේ නවමු පැතිකඩ මනාවට විදහා දක්වයි.

වර්තමාන වෙළදපලට ඉදිරිපත් වන, හදුන්වා දෙන මෝටර් රථ විවිධ පන්නයේ ඒවා වන අතරම විවිධ වේග පරිමාවන්ගෙන් හා විවිධ හැකියාවන්ගෙන් සමන්විතය. මෑත කාලීනව වෙළදපොල ආක්‍රමණය කිරීම සදහා මෝටර් රථ නිෂ්පාදකවරුන්ට ඉහත දැක්වූ අංගයන් මෙන්ම තවත් විශේෂාංගයක් ඇතුලත් කල යුතු විය. ඒ නම් පාරිභෝගික ආරක්ෂාවයි. මහමග තම ගමනේ ඉක්මන් බව හා සුවපහසුව මෙන්ම තම ජීවිතාරක්ෂාව පිළිබදව සමාන සැලකිල්ලක් පාරිභෝගිකයා විසින් දැරීම එයට හේතුවයි.

වඩාත් තාක්ෂණික අයුරින් උසස් කරන ලද ආරක්ෂක පද්ධති, වැඩි දියුණු කරන ලද ප්‍රධාන/තිරිංග ලාම්පු පද්ධති, මීදුම හෝ හේතුන් නිසා අපැහැදිලි නොවන වීදුරු, ටයර් හා තිරිංග පද්ධති නිසා වර්තමානයේ බිහිවන මෝටර් රථ හුදෙක් පාරිභෝගික ආරක්ෂාව කේන්ද්‍රකර ගනිමින් නිපදවනවා සේ පෙනී යයි.

වාහනයේ ආරක්ෂිත අංග මෙන්ම මහමග ආරක්ෂක පද්ධතියන් නියමාකාරව ක්‍රියාත්මක වීමද ප්‍රවාහන අනතුරු වළක්වා ගැනීමට හේතු සාධක වන ප්‍රධාන කරුණකි. කෙතරම් අධිවේගී මාර්ග තැනුවද, මාර්ග පද්ධතිය දියුණු වුවද මාර්ග සංඥා, මාර්ග නීති හරිහැටි යාවත්කාලීන නොවේ නම් එම සංවර්ධනයෙන් පලක් නැත. අප රටේ මාර්ග සංවර්ධනයත් සමගම මාර්ග සංඥා, මාර්ග නීති නිසි තත්වයෙන් නඩත්තු කිරීම සදහා ගෙන ඇති පියවර සතුටුදායකය.

මාර්ග පද්ධතිය අන්තර්ජාතික තත්වයන්ට අනුගතව තනා තිබූවත්, ලොව සුපිරිතම ආරක්ෂන පද්ධතිය වාහනයේ ස්ථාපිත වී තිබුනත් ඒ සියල්ල හරිහැටි භාවිතය අප සැමගේ වගකීමයි. මහමග රිය පදවන රියදුරු වේවා, මග දෙපසින් ගමන් ගන්නා පදිකයන් වේවා අප ඔබ සියල්ලන්ම මාර්ග නීති නියමාකාරයෙන් දැන සිටිය යුතු වන අතර ඇති සිටියෙන් ඒවා පිළිපැදිය යුතු වනවා. අපරික්ෂාකාරී, නොසැලකිලිමත් ක්‍රියාකාරකම් (උදා: බීමතින් රිය පැදවීම, පාරේ වමෙන් ගමන් කිරීම) වලින් මිදී කටයුතු කිරීම මගින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් අප වගකීම් ඉටුකල හැක.

ව්‍යාපාරික ලෝකයේදී ප්‍රවාහනය යනු ඉතාමත් වැදගත් අංශයක් වන අතර ව්‍යාපාරයේ කලමණාකාරීත්වය මෙන්ම සියලූම පරිපාලන අංශ මේ පිළිබදව වඩා අවධානයක් යොමු කරයි. වෙළදපොල ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබා දීම වෙනුවෙන් තම නිෂ්පාදිත යොමු කිරීම සදහා ප්‍රවාහනය ප්‍රධානම සාධකයක් වේ. වර්තමානයේ බොහෝ දියුණු ව්‍යාපාර තම ප්‍රවාහන අංශය ශක්තිමත් කර ගන්නවාත් සමගම තම රියදුරන්, රියදුරු සහයකයින් මාර්ග නීති හා මහ මග හොද හැසිරීම් පිලිබද මනා පුහුණුවකින් සන්නද්ධ කිරීම සිදු කරයි. ඒ සදහා විශේෂිත වූ පාඨමාලාවන් ද දැන් දැන් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන මගින් ලබා දෙන අතරම විශේෂ පුහුණුව ලත් රියදුරෙකු / සහයකයෙකු ලෙස එම පුද්ගලයන්ට සහතික පත්‍රද පිරිනැමෙන අතර එම සහතික පත්‍ර රැකියා ජීවිතයේදී එම පුද්ගලයන්ට වඩා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ක්‍රමයන්ට එහා පියවරක් ද තබමින් තවත් ආයතන තම ප්‍රවාහන අංශයේ ආරක්ෂාව හා සේවක සුරක්ෂිතතාව වෙනුවෙන්ම සුරක්ෂිතතා කළමණාකරුවකු පත් කර ප්‍රවාහන අංශය අනතුරු වලින් තොර ඵලදායී සේවා අංශයක් කිරීම සදහා වගකීම් පවරනු ලබයි. විවිධ අභිප්‍රේරණ ක්‍රියාවලියන් මගින් ද මහ මග අනතුරු වැලකීම සදහා සමහර ආයතන ඇප කැප වී සිටී. උදාහරණයක් ලෙස පෝස්ටර්, දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම, රූපවාහිනී / ගුවන් විදුලි දැන්වීම් පල කිරීම වැනි දෑ දැක්විය හැක.

ආයතනික මට්ටමින් මෙවන් උත්තේජන දැයට ලබා දුන්නද, රජය විසින් මහාමාර්ග පද්ධතිය සුවිසල් සංවර්ධනයකට ලක් කොට ඇති වුවද, අති නවීන ආරක්ෂන තාක්ෂණය අප සතු වුවද බස් එකේ පාපුවරුවේ යාම හුරේ වැඩේ යයි සිතන, සිතූ තැනින් මහ මග මාරු වන්නට හිමිකම් ඇතැයි සිතන, වාහනය තනි රෝදෙන් යවා නයිට් රයිඩර්ලා වන්නට තනන අපේ සමහර අයියලා අක්කලා එක්ක මේ වැඩේ බැරිය...


නමුත්, දෙයියනේ කියා මහමග සීරුවට යන්නට අපට පුළුවන...

Sunday, March 10, 2013

කරන රැකියාවත් අපිටම කෙලියි ද?

Best Blogger Tips
රැකියාව යනු අප හැමෝම ජීවිතේ කියන රෝල ගහගන්න කරන හැම දෙයකම ප්‍රධාන පුරුක. හුස්ම ගන්නත් සල්ලි ඕනේ මේ කාලේ රැකියාව කියන දේට තියෙන්නේ ප්‍රධානම තැන. ඒත්, ජීවිතේ ගැට ගහගන්න ඔට්ටු වෙන රස්සාව තමාගේ ජීවිතේට, කල් පැවැත්මට තර්ජනයක් වෙලාද කියන එක ගැන ඔබ සැලකිලිමත් ද?

වෘත්තීය සුරක්ෂීතතාවය හා සෞඛ්‍ය කියල කියන්නේ මුළු ලෝකෙම සැලකිල්ල දිනා ගත් මාතෘකාවක්. යම් කිසි රැකියාවක නිරත වන්නෙකු එම රැකියාවේ ස්වභාවය හේතුවෙන් අනතුරු වලට හෝ රෝගාබාධයන්ට ලක් වේ නම් එය අනුමත කල හැකි ද? ශ්‍රී ලංකාව අතින් කතා කිරීමේ දී විවෘත ආර්ථිකයත් සමග බිහිවූ කර්මාන්ත හා ව්‍යාපාර, දහස් ගණනක් ජනතාවට රැකියා අවස්ථා ලබා දීමට සමත් වුණා. අලුතින් බිහි වන කර්මාන්ත සමග මෙරටට පැමිණි දියුණු තාක්ෂණය හා කාර්මික ක්‍රම උපයෝගී කර ගනිමින් රැකියාවේ නියුතු වීමට සේවකයන්ට හැකි වුණා. නමුත් එම තාක්ෂණය හා නවීන ක්‍රම සේවකයන් අනතුරු, රෝගාබාධ වෙත නැඹුරු කිරීම සීඝ්‍ර ලෙස ඉහල යෑමට පටන් ගැනුනා. මෙම හේතූන් පදනම් කොට ගනිමින් අන්තර්ජාතික ප්‍රජාව සේවකයාගේ වෘත්තීමය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් නීති හා රෙගුලාසි, සංවිධාන, තත්ව සහතික හා රාජ්‍ය ආයතන බිහි කිරීමට අත්පොත් තබන ලදී.

හාල් ගෝනිය කර ගහන්නාගේ සිට ශල්‍ය වෛද්‍යවරයා දක්වා සියල්ලෙකුටම වෘත්තීමය සෞඛ්‍ය ගැටලු මතු විය හැක. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීම, නිවැරදි උපදෙස් භාවිතා නොවීම, පුද්ගල ආරක්ෂණ උපකරන පැලදීම ප්‍රතික්ෂේප කිරීම, මැලි කමක් දැක්වීම මෙන්ම තමන් නිරාවරණය වී සිටින්නේ කුමන ආකාරයේ වෘත්තීමය සෞඛ්‍ය ගැටලුවකට ද යන්න පිළිබදව දැනුවත් නොවීම හේතුවෙන් සේවකයින් නිරන්තර රෝගාබාධයන්ට ලක් වේ. ඉදින් මෙම ගැටලුවට නීති පැනවීම පමණක් ප්‍රමාණවත් වේවි ද? නැත.
නීති පැනවීමත් සමගම සේව්‍ය සේවක දෙපාර්ශවයම දැනුවත් කිරීම, පුහුණු කිරීම හා එම ගැටලු අවම කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කල යුතුය. සේව්‍ය සේවක දෙපාර්ශවයේම දැක්ම හා අරමුණු වල සැබෑ වෙනසක් සිදු කල යුතුය.

මෙම අවශ්‍යතාවයන් සැපිරීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇත. කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය මගින් යම් කර්මාන්තයකට අවශ්‍ය වෘත්තීමය සුරක්ෂීතතාවය පිළිබද උපදෙස්, තත්ව සහතික හා පුහුණු පාඨමාලා ලබා ගත හැක. ශ්‍රී ලංකා රජයේ අනුමත සහතිකයන් තම කර්මාන්තයට ලබා ගැනීමට හැකි වනවා සේම මෙම ක්ෂේත්‍රයේ වසර ගණනක ජාතික හා අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් හා පුහුණුව ලත් නිළධාරීන්ගේ සේවාව හා අනුමැතියන් ඔබ ආයතනයට ලබා ගත හැක.

ඉහත දැක්වූ ආකාරයේ සේවාවන් ලබා දීමට සමත් පෞද්ගලික ආයතන බොහෝමයක් ද ලංකාවේ ආරම්භ කර ඇත. හුදෙක්ම ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් අරමුණු කරගත් එම ආයතන වෙතින් සේවකයාගේ වෘත්තීය සුරක්ෂිතතාවය මනාව රැකේවි යැයි විශ්වාස කල නොහැක. එනමුත්, රාජ්‍ය ආයතනයක් වශයෙන් ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් හා යාවත්කාලීන වන අත්දැකීම් හරහා තම සේවාවන් බෙදා හරියි.

ඔබ ආයතනයේ වෘත්තීමය රෝග හා අනතුරු සදහා අවදානමක් ඇතැයි ඔබට සිතෙන්නේ නම් ඒ සදහා පිළියම් යෙදීමට ප්‍රමාද වෙන්න එපා. සෞඛ්‍යමත් ශ්‍රම බලකායක් යනු ආයතනයේ සහ රටේ දියණුවයි!!


Saturday, February 19, 2011

ගොඩනැගෙන ලංකාවට යනෙන මාවත

Best Blogger Tips
යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද?

පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත අවශ‍්‍යතාවය සපුරාගැනීමට ඇති මාර්ගයයි.නැතිනම්, රටක සංවර්ධනයේ මූලිකම පුරුකයි.ලංකාවේ පොදු මගී ප්‍රවාහනය පිළිපදව සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් මානසිකත්වයක් නම් නොවේ.එයට හේතු මෙහි ගෙන දැක්වීමෙන් පලක් නැත.නමුත්, දැන් දැන් අප රටේ ගමනාගමන රටාවන් තුළ සිදුවන විපර්යාස පිළිබදව ඔබ විමසිලිමත් වූවාද?

රටක දියුණුව රජය මතම පවරා නොසිට පුද්ගලික අංශයද ඒ සදහා හවුල් කරගත් රාජ්‍යයන් අද රජුන් සේ ලොව කැපී පෙනෙයි.නමුත්,යටගියාවේ අප රට තුළ වූයේ කුමක්දැයි ඔබ අවබෝධයෙන් සිටින බව මා දනිමි.නමුත්,එම යටගියාව වළලා දමමින් වර්තමානයේ සියලු අංශයන්ගේ ආශිර්වාද මැද රටේ ප්‍රවාහන පහසුකම් නගා සිටුවෙන බව ඔබට දැනුනාද?

මහාමාර්ග ප්‍රවාහනය අතින් අධිවේගී මාර්ග ඉදිවීම,ලංගම ශක්තිමත් කිරීම, අධි සුඛෝපභෝගී බස් රථ සේවා (විවිධ ‍පුද්ගලික ආයතන විසින් ආසන වෙන් කරවා ගත හැකි) වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක.දුම්රිය මාර්ග ප්‍රවාහනය දෙසින් සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවන් හා එම ආසන වෙන් කරවා ගැනීමේ පහසු ක්‍රම මෙන්ම ඉදිරියේදී එක්වන විදුලි දුම්රිය සේවාවන් (අද දින මුල්ම විදුලි දුම්රිය කට්ටලය මෙරටට ගෙන්වා ඇත.) දැක්විය හැක.ගුවන් ප්‍රවාහන‍ය අතින් ප්‍රාදේශීය මට්ටමේ ගුවන් සේවා ඇරඹීම විශේෂ මංසළකුණක් ලෙස දැක්විය හැක.ජලය මගින් එසේත් නැතිනම් මුහුදෙන් හෝ ගංගා මතින් ප්‍රවාහනය දියුණුව පිළිබදවද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පැවතීම සතුටුදායකය.

ඔව්.ඔබ සිතන දේ නිවැරදිය.මේ සේවා කොපමණ දියුණු වුවත් අප තවමත් මහ මග පැය ගණන් තපින්නෙමු. නමුත්, මේ අප රටේ ප්‍රවාහන අංශයේ දියුණුවේ ආරම්භක අවධියයි.අඩු වියදමකින් සුඛෝපභෝගී සේවාවක් ලබා දීමේ අවස්ථාවට රට සූදානම් වන මේ අදි‍යරේ ඒ සදහා පුංචි කාලයක් ලබා දීම සාධාරණ නොවේද?


Saturday, February 12, 2011

පාරිභෝගිකයන් කරකවා අතහැරි වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපොල

Best Blogger Tips
දෙසැම්බර් මාසය යනු ලොව ඕනෑම රටක් උත්සවශ්‍රියක් ගන්නා කාලයක්.මේ කාලය වාණිජ ලෝකයට නම් ඉතාමත් කාර්ය්‍යබහුල සමයක්.තම වෙළදපල ලාභ මට්ටම තර කර ගැනීම මෙන්ම තම තමන්ගේ ඉතිරි කුණු ලොට්ටයන් කාගේ හෝ ඇගට හේත්තු කිරීමට ඇති හොදම අවස්ථාවද මෙය වීම ඊට හේතුවයි.අවුරුද්ද පුරාවටම අපේක්ෂාවෙන් වුන් බෝනස් එකට තට්ටු කරගැනීමට මෙන්ම සුපිරි කුණු ‍ගො‍ඩවල් වල හිමිකරුවන් වීමට මෙම අවධිය සුපර්ය.
නමුත්, මා ඉහත පැවසූ සියල්ල දැන් දැන් පුස්සක් වෙමින් පවතී.ඒ සදහා උදාහරණයක් ලෙස වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපලේ වේගවත් මිල බැස්ම හැදින්විය හැක.මීට හය හත් මාසයකට පෙර තිබූ විදුලි උපකරණ මිළ මට්ටම වර්තමානයේ ඉන් හරි අඩක්වත් නොගන්නා බව ඔබ දන්නවාද?පසුගිය අයවැය හරහා සිදුවු බදු අඩු කිරීම මේ සදහා වූ මූලික අඩිතාලම ලෙස අපට හැදින්විය හැකි අතර නව තාක්ෂණය පෙර නොවූ අයුරින් වෙළදපල ආක්‍රමණය කර ගැනීමත් මෙයට හේතුවක්.
මේ මිල අඩුවීම කණවැකුණු මමත් සුප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සපයන ප්‍රදර්ශණාගාරයකට ගොඩවුනේ දෙසැම්බරයේ අවසාන සතියේදීයි.නමුත්, සාප්පුව තුළට ගො‍ඩවැදුනු මා හට දකින්නට හැකි වූයේ හිස් රාක්ක කිහිපය හා ප්‍රදර්ශණ පුවරු පමණයි.ඒ වන විටත් ඔවුන්ගේ සියලූම භාණ්‍ඩ ( ප්‍රදර්ශණයට තිබූ භාණ්ඩ පවා) විකිණි අවසන්ව තිබිණ.ඒ ශාඛාවේ මෙන්ම දිවයින පුරා විසිරී ඇති අනෙකුත් ප්‍රදර්ශණාගාරද ඔවුන් නොසිතූ වෙළදාමක් ඒ වන විටත් ලබා සිටියා.
අපි එළවලු මිළ වැඩියි කියා කෑ ගසමු.නමුත්, මේ තත්වය? ඔව්.මෙම අසාමාන්‍ය ඉලෙක්ට්‍රොනික වෙළදාමට (ඇත්තෙන්ම අතීතයට සාපේක්ෂව අසාමාන්‍ය වෙළදාමක්) මූලික වූ හේතුවක් ඇත‍.ඒ නම් Credit Card භාවිතයෙන් පොළී රහිතව මාස 24 ඇතුලත ගෙවීමේ පහසුකම ලබාදීමයි.සල්ලි නැතත් ණයට හෝ LCD TV , HIFI SETUP, BLUERAY PLAYERS, WASHING MACHINE, REFRIGERATORS පාවිච්චි කරන්න අකමැති කවුද?
නමුත්, මේ මිළ අඩුවීමට කෙලවීමට නව තාක්ෂණය සමත් වෙමින් පවතී.LCD TV එකක් වෙනුවට LED TV ආදේශකයකි.නමුත්, එය මිලෙන් අධිකය.අනාගතයේ තව තව සොයාගැනීම් බිහිවනු ඇත.ඒවා මීටත් වඩා මිලෙන් අධික වනු ඇත.මිල කෙසේ වුවද නව තාක්ෂණය අනෙක් දියුණු රටවලට සාපේක්ෂ අවධියේම මෙහි පැමිනීම පිළිබදව අප සතුටු විය යුතුමය.අනාගත ශ්‍රී ලංකාවේ තාක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම මෙතරම් දුෂ්කර නොවනු ඇත.එහි පෙරමග ලකුණුයි මේ.




Saturday, February 5, 2011

නෝ නෝ women නෝ cry

Best Blogger Tips
Bob Marley කියන්නේ අපි කව්රුත් හදුනන චරිතයක්.ඔහුගේ නිර්මාණ, සංගීතයට ඇලුම් කරන අපිට අලුත් දෙයක් නොවේ.සංගීතය තුළින් යම් කිසි දර්ශණයක්, වෙනසක් ඇති කරන්න‍ට ඔහු සමත් වුනා.තවමත් ඔහුගේ නිර්මාණ නොනැසී සංගීත ලොව දිදුලවන්නේ ඒ නිසා විය හැක.
නමුත්,මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔහුගේ ගීතයක් නොව ඔහුගේ ගීතයක් පාදක කොටගත් හාස්‍යමය වැඩසටහනක පටිගත කිරීමකි. "අරේ සහ මරේ" නම් මෙම වැඩසටහන පිළිබදව ඔබ අසා ඇති බව නොඅනුමානය.අප හොදින් හදුනන සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද (අපි නොදන්න ලයිව් එකේ දෙන්නා) විසින් ඉදිරිපත් කෙරූ මෙම වැඩසටහ‍න "ලයිට් එනකන්" යන නමින් ආරම්භ වූ අතර පසුකාලීනව "අරේ හා මරේ" ලෙසින් ගුවන්ගත විය.
No women No cry ගීතය හා බොබ් මාලි වටා ගෙතුනු මෙම කථාබහ හාස්‍යජනකය.මෙහි මා උපුටා දක්වන පටිගත කිරීම මා විසින් සිදු කරන ලද්දක් නොවන අතර, කව්රු කළද කල කාර්යය අගය කිරීම සිදුකළ යුතුමය.





Saturday, January 29, 2011

ගබඩාකරණය

Best Blogger Tips
අපි පරිභෝජනය කරන සියල්ල අපේ නුදුරටම ස‍මීප වී තිබීම සෑම පාරිභෝගිකයෙකුටම පහසුවක්.ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට මිළදී ගන්න වර්තමාන වෙළදපල අවස්ථාව සළසා දී තිබෙනවා.නමුත්,පාරිභෝගික අප සැමට මෙම පහසුව ලබාදීමට පාර්ශව කීයක් නම් යුහුසුඑ වෙනවාදැයි ඔබ දන්නවාද?ඔව්.එම ක්‍රියාවලි අපට වැදගත් නැහැ තමයි.නමුත්,එයින් සමහර දෑ සොයා බැලීම නිකරුනේ කාලය වැය කිරීමක් නොවන බව නම් ස්ථීරයි.
ගබඩාකරණය යනුද ඉහත කී අදියරයන්ගෙන් මූලිකම තැනක් ගන්නා මාතෘකාවක්.පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයුම සැලසීම උදෙසා ගබඩාකරණ‍ ක්‍රියාවලිය ප්‍රාණවත්ව තිබිය යුතුමය.නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව එම නිෂ්පාදිතයන්ගේ වගකීම පැවරෙන්නේ ගබඩාකරණය මතයි.නිෂ්පාදිතයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම වෙළදපළ ඉල්ලුමේ උච්චාවචනයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමේ වගකීමද මෙම ක්‍රියාවලියට අයත්.
ගබඩාකරණය (Warehouse Operation) වර්තමානයේ වෙළද ප්‍රජාව දැඩි අවධානයකට ලක් කළ මාතෘකාවක් ලෙස අපට හැදින්විය හැකියි.මන්දයත් මෙම අදියරේ බිද වැටීම අදාළ ව්‍යාපාරයේ අවසානය‍ විය හැකි බැවිනි.
මෙම ව්‍යාපාරික විශ්වාසයේම ප්‍රතිඵලයක් ලෙස‍ වර්තමානයේ බිහිවන ගබඩාකරණ පාඨමාළා හැදින්විය හැක.එමෙන්ම ගබඩාකරණය හා සම්බන්ධ විශාල රැකියා වෙළදපලක් බිහි වී තිබීමද මෙහි වැදගත්කම මනාවට පැහැදිලි කරයි.
ගබඩාකරණ‍ය යනු පුඵල් මාතෘකාවකි.ඒ හා සම්බන්ධ පටිපාටියන් රාශියකි.නමුත් එය ගවේෂණය ඉතාමත් රසවත්ය.ඔබත් වැඩිදුර අධ‍්‍යාපනයේ නව මංපෙත් සොයන්නෙක් නම් මේ මාවතත් සැළකිල්ලට ගත හැක.



Monday, March 8, 2010

වර්තමාන ජීවීන්ගේ අනාගතය

Best Blogger Tips



මේ අන්තර්ජාතික ජෛව විවිධත්ව වසරයි.ජෛව විවිධත්වය කියන දේ අපේ කන් වලට ටිකක් හුරුපුරුදුව ඇතිමුත් එහි නියමාකාර අර්ථය ලොව කිහිපදෙනෙකු හැර අප කිසිවෙකු තවමත් වටහා‍ගෙන නොමැති බව නම් නොඅනුමානයි.මේ ලෝකය මත වෙසෙන සෑම සත්වයෙකුම එකිනෙකකට වෙනස්.ඒ කියන්නේ එකම වර්ගයක සත්වයෙකුගේම විවිධාකාර අනුවර්ගයන් රාශියක් අපිට දැකගන්න පුලුවන්.නමුත්, අපි ඒ දැකලා තියෙන්නේ ඉන් 1000/1 විතරක් කියලත් අපි දැනගන්න ඕනා.ඒ අපි නොදැකපු සත්ව ජීවිත අපිට කවදාවත්ම දකින්න නොලැබෙන්න ඉඩ කඩ දැන් පැතිරිලා ඉවරයි.ඒ අවසානය‍ට පෑදුණු මංපෙත් වහ‍ලා ඉන්න ටික හරි රැකගමු කියන එක තමයි මේ වසරේ තේරුම.
මීට අවුරුදු 08කට විතර ඉස්සෙල්ලා දිනයක ලොව රටවල් 190ක විතර පරිසර බලධාරීන් රැස්වුණා.ඒ රැස්වීමේ ප්‍රතිඵලයක් විදිහ‍ට තමයි 2010 වසර වෙද්දි ලොව පුරා සිදුවන මේ ජෛව විවිධත්ව හානි වළක්වන බව‍‍ට එකගතාවයකට ආවේ.මේ කාරණා සම්බන්ධව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාකරන්නේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයයි.
කාරණා කොහොමින් කොහොම වුනත් එදා අවුරුදු 08
කට ඉස්සෙල්ලා කරන්න හිතා ගත්ත දේවල් ඔක්කෝම අවසන් කරන්න නම් හැකි වෙලා නැහැ.නමුත්,ලෝකයේ ජෛව විවිධත්වය සංරක්ෂණ ක්‍රියාමාර්ග ඇහැට කනට පේන ගානට,ස්ථිර මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ මේ වසරට පින්සිද්ද වෙන්න බව නම් කිව යුතුමයි.ඇත්තටම කියනවනම්, අපේ රට තුලත් ජෛව විවිධත්වයේ අනාගතය වෙනුවෙන් ‍ලොකු වැඩ කොටසක් ඉටුවෙලා හමාරයි.2010 වෙද්දි ඉවරකරන්න බැරිවුණ වැඩ ටික ඉදිරියට පෙළගස්ව ගැනීමේ අරමුණින් මේ සදහා වගකියන බළධාරීන් 2010 ඔක්තෝම්බර් මාසේදී නැවත හමුවීමට නියමිතයි.
බළධාරීන්ට පමණක් ජෛව විවිධත්වය රකින්න දීලා කට
බලියන් ඉන්නේ නැතිව අපිට පුලුවන් දෙයක් වචනෙකින් හරි කරන්න පුලුවන් නම් 2011 රතු දත්ත වාර්තාවට අලුතින් එකතුවෙන සත්ව නාම හරි අඩකින්වත් අඩුකර ගන්න අපිට පුලුවන් වෙයි.2010 වසරින් ඔබ්බටත් ජෛව විවිධත්වයට සුභ කලදවසක් බිහිවේවි ද?


2010 Video

The IUCN Red List of Threatened Species