Showing posts with label occupational safety and health. Show all posts
Showing posts with label occupational safety and health. Show all posts

Thursday, November 13, 2014

ප්‍රවාහනයේ ආරක්ෂාව....

Best Blogger Tips



ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් හෝ යම් දෙයක් යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ගෙන යාමයි. ගුවන් මගින්, ජලයෙන්, මහාමාර්ග මතින්, රැහැන් මගින්, නළ මාර්ගයෙන් හෝ අවකාශය හරහා ප්‍රවාහනය වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රවාහන ක්‍රම වන අතර තාක්ෂණයේ දියුණුවත් සමග සියලූම ප්‍රවාහන ක්‍රම එහි උපරිම කාර්යක්ෂමතාවය කරා ලගා වෙමින් පවතී. වර්තමානයේ මෙම දියුණු ප්‍රවාහන ක්‍රම කිසිවකු නොසිතූ විරූ අයුරින් ලොව වෙනස් කිරීමට සමත්ව ඇත. ලෝ ජනයාගේ එදිනෙදා ජීවිතය මෙන්ම ව්‍යාපාරික ලෝකයද නොසිතූ මට්ටමක් කරා ගෙන යාමට වර්තමානයේ මෙම දියුණු වෙමින් පවතින ප්‍රවාහන පද්ධතිය හේතු කාරක වී ඇත.

අතීතයේ දින ගණන් මිඩංගු කිරීමට සිදුවූ ගමන් අද පැය කිහිපයක් තුල යාමට හා ඒමට අවස්ථාව උදා වී ඇත. පැය ගණන් මහමග ගත කල අප අද මිනිත්තු කිහිපයක් තුල ඒ අවශ්‍යතාවය ඉටුකර ගනී. පයින් ගමන් කල අවධියේ සිට අශ්වයන්, බූරුවන් මතින් ගමන් කර පසුකාලීනව එම සතුන් ලවා අද්දවා ගත් වාහන මගින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත් අවධිය පසු කර මෝටර් වාහන මගින් ප්‍රවාහනය දක්වා අප තාක්ෂණය දියුණු වී ඇත. මෙම තාක්ෂණික අවධියේ ආගමනයත් සමගම විවිධ පන්නයේ මෝටර් රථ, වෑන් රථ, බස් රථ, මෝටර් සයිකල් වෙළදපලට මෙන්ම මහමගටද හදුන්වාදීම ආරම්භ වූ අතර මහමග ආරක්ෂාව පිළිබද අවශ්‍යතාවයද මතු වන්නට පටන් ගත්තේය.

ලොව ප්‍රථම මාර්ගය තැනූවන් ලෙස සටහන් වන්නේ ආදී මිසපොතේනුවන් වන අතර ඒ වර්ෂ 4000 BC ලෙස සටහන් වේ. එදින් පටන් විකාශනය වූ අප මහාමාර්ග පද්ධතිය වර්තමානයේ අතිවිශාල අධිවේගී මාර්ගයන් දක්වා විහිදී ඇත. මෑත ශ්‍රී ලංකාවේ ආර්ථික විජයග්‍රහණයත් සමග අප රටට දායාද වූ අධිවේගී මාර්ගයන්, ගුවන් පාලම් හා මාර්ග ආරක්ෂණ පද්ධති එම සදහන් කල මහාමාර්ග විකාශනයේ නවමු පැතිකඩ මනාවට විදහා දක්වයි.

වර්තමාන වෙළදපලට ඉදිරිපත් වන, හදුන්වා දෙන මෝටර් රථ විවිධ පන්නයේ ඒවා වන අතරම විවිධ වේග පරිමාවන්ගෙන් හා විවිධ හැකියාවන්ගෙන් සමන්විතය. මෑත කාලීනව වෙළදපොල ආක්‍රමණය කිරීම සදහා මෝටර් රථ නිෂ්පාදකවරුන්ට ඉහත දැක්වූ අංගයන් මෙන්ම තවත් විශේෂාංගයක් ඇතුලත් කල යුතු විය. ඒ නම් පාරිභෝගික ආරක්ෂාවයි. මහමග තම ගමනේ ඉක්මන් බව හා සුවපහසුව මෙන්ම තම ජීවිතාරක්ෂාව පිළිබදව සමාන සැලකිල්ලක් පාරිභෝගිකයා විසින් දැරීම එයට හේතුවයි.

වඩාත් තාක්ෂණික අයුරින් උසස් කරන ලද ආරක්ෂක පද්ධති, වැඩි දියුණු කරන ලද ප්‍රධාන/තිරිංග ලාම්පු පද්ධති, මීදුම හෝ හේතුන් නිසා අපැහැදිලි නොවන වීදුරු, ටයර් හා තිරිංග පද්ධති නිසා වර්තමානයේ බිහිවන මෝටර් රථ හුදෙක් පාරිභෝගික ආරක්ෂාව කේන්ද්‍රකර ගනිමින් නිපදවනවා සේ පෙනී යයි.

වාහනයේ ආරක්ෂිත අංග මෙන්ම මහමග ආරක්ෂක පද්ධතියන් නියමාකාරව ක්‍රියාත්මක වීමද ප්‍රවාහන අනතුරු වළක්වා ගැනීමට හේතු සාධක වන ප්‍රධාන කරුණකි. කෙතරම් අධිවේගී මාර්ග තැනුවද, මාර්ග පද්ධතිය දියුණු වුවද මාර්ග සංඥා, මාර්ග නීති හරිහැටි යාවත්කාලීන නොවේ නම් එම සංවර්ධනයෙන් පලක් නැත. අප රටේ මාර්ග සංවර්ධනයත් සමගම මාර්ග සංඥා, මාර්ග නීති නිසි තත්වයෙන් නඩත්තු කිරීම සදහා ගෙන ඇති පියවර සතුටුදායකය.

මාර්ග පද්ධතිය අන්තර්ජාතික තත්වයන්ට අනුගතව තනා තිබූවත්, ලොව සුපිරිතම ආරක්ෂන පද්ධතිය වාහනයේ ස්ථාපිත වී තිබුනත් ඒ සියල්ල හරිහැටි භාවිතය අප සැමගේ වගකීමයි. මහමග රිය පදවන රියදුරු වේවා, මග දෙපසින් ගමන් ගන්නා පදිකයන් වේවා අප ඔබ සියල්ලන්ම මාර්ග නීති නියමාකාරයෙන් දැන සිටිය යුතු වන අතර ඇති සිටියෙන් ඒවා පිළිපැදිය යුතු වනවා. අපරික්ෂාකාරී, නොසැලකිලිමත් ක්‍රියාකාරකම් (උදා: බීමතින් රිය පැදවීම, පාරේ වමෙන් ගමන් කිරීම) වලින් මිදී කටයුතු කිරීම මගින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් අප වගකීම් ඉටුකල හැක.

ව්‍යාපාරික ලෝකයේදී ප්‍රවාහනය යනු ඉතාමත් වැදගත් අංශයක් වන අතර ව්‍යාපාරයේ කලමණාකාරීත්වය මෙන්ම සියලූම පරිපාලන අංශ මේ පිළිබදව වඩා අවධානයක් යොමු කරයි. වෙළදපොල ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබා දීම වෙනුවෙන් තම නිෂ්පාදිත යොමු කිරීම සදහා ප්‍රවාහනය ප්‍රධානම සාධකයක් වේ. වර්තමානයේ බොහෝ දියුණු ව්‍යාපාර තම ප්‍රවාහන අංශය ශක්තිමත් කර ගන්නවාත් සමගම තම රියදුරන්, රියදුරු සහයකයින් මාර්ග නීති හා මහ මග හොද හැසිරීම් පිලිබද මනා පුහුණුවකින් සන්නද්ධ කිරීම සිදු කරයි. ඒ සදහා විශේෂිත වූ පාඨමාලාවන් ද දැන් දැන් ශ්‍රී ලංකාවේ විවිධ ආයතන මගින් ලබා දෙන අතරම විශේෂ පුහුණුව ලත් රියදුරෙකු / සහයකයෙකු ලෙස එම පුද්ගලයන්ට සහතික පත්‍රද පිරිනැමෙන අතර එම සහතික පත්‍ර රැකියා ජීවිතයේදී එම පුද්ගලයන්ට වඩා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම ක්‍රමයන්ට එහා පියවරක් ද තබමින් තවත් ආයතන තම ප්‍රවාහන අංශයේ ආරක්ෂාව හා සේවක සුරක්ෂිතතාව වෙනුවෙන්ම සුරක්ෂිතතා කළමණාකරුවකු පත් කර ප්‍රවාහන අංශය අනතුරු වලින් තොර ඵලදායී සේවා අංශයක් කිරීම සදහා වගකීම් පවරනු ලබයි. විවිධ අභිප්‍රේරණ ක්‍රියාවලියන් මගින් ද මහ මග අනතුරු වැලකීම සදහා සමහර ආයතන ඇප කැප වී සිටී. උදාහරණයක් ලෙස පෝස්ටර්, දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම, රූපවාහිනී / ගුවන් විදුලි දැන්වීම් පල කිරීම වැනි දෑ දැක්විය හැක.

ආයතනික මට්ටමින් මෙවන් උත්තේජන දැයට ලබා දුන්නද, රජය විසින් මහාමාර්ග පද්ධතිය සුවිසල් සංවර්ධනයකට ලක් කොට ඇති වුවද, අති නවීන ආරක්ෂන තාක්ෂණය අප සතු වුවද බස් එකේ පාපුවරුවේ යාම හුරේ වැඩේ යයි සිතන, සිතූ තැනින් මහ මග මාරු වන්නට හිමිකම් ඇතැයි සිතන, වාහනය තනි රෝදෙන් යවා නයිට් රයිඩර්ලා වන්නට තනන අපේ සමහර අයියලා අක්කලා එක්ක මේ වැඩේ බැරිය...


නමුත්, දෙයියනේ කියා මහමග සීරුවට යන්නට අපට පුළුවන...

Sunday, March 10, 2013

කරන රැකියාවත් අපිටම කෙලියි ද?

Best Blogger Tips
රැකියාව යනු අප හැමෝම ජීවිතේ කියන රෝල ගහගන්න කරන හැම දෙයකම ප්‍රධාන පුරුක. හුස්ම ගන්නත් සල්ලි ඕනේ මේ කාලේ රැකියාව කියන දේට තියෙන්නේ ප්‍රධානම තැන. ඒත්, ජීවිතේ ගැට ගහගන්න ඔට්ටු වෙන රස්සාව තමාගේ ජීවිතේට, කල් පැවැත්මට තර්ජනයක් වෙලාද කියන එක ගැන ඔබ සැලකිලිමත් ද?

වෘත්තීය සුරක්ෂීතතාවය හා සෞඛ්‍ය කියල කියන්නේ මුළු ලෝකෙම සැලකිල්ල දිනා ගත් මාතෘකාවක්. යම් කිසි රැකියාවක නිරත වන්නෙකු එම රැකියාවේ ස්වභාවය හේතුවෙන් අනතුරු වලට හෝ රෝගාබාධයන්ට ලක් වේ නම් එය අනුමත කල හැකි ද? ශ්‍රී ලංකාව අතින් කතා කිරීමේ දී විවෘත ආර්ථිකයත් සමග බිහිවූ කර්මාන්ත හා ව්‍යාපාර, දහස් ගණනක් ජනතාවට රැකියා අවස්ථා ලබා දීමට සමත් වුණා. අලුතින් බිහි වන කර්මාන්ත සමග මෙරටට පැමිණි දියුණු තාක්ෂණය හා කාර්මික ක්‍රම උපයෝගී කර ගනිමින් රැකියාවේ නියුතු වීමට සේවකයන්ට හැකි වුණා. නමුත් එම තාක්ෂණය හා නවීන ක්‍රම සේවකයන් අනතුරු, රෝගාබාධ වෙත නැඹුරු කිරීම සීඝ්‍ර ලෙස ඉහල යෑමට පටන් ගැනුනා. මෙම හේතූන් පදනම් කොට ගනිමින් අන්තර්ජාතික ප්‍රජාව සේවකයාගේ වෘත්තීමය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් නීති හා රෙගුලාසි, සංවිධාන, තත්ව සහතික හා රාජ්‍ය ආයතන බිහි කිරීමට අත්පොත් තබන ලදී.

හාල් ගෝනිය කර ගහන්නාගේ සිට ශල්‍ය වෛද්‍යවරයා දක්වා සියල්ලෙකුටම වෘත්තීමය සෞඛ්‍ය ගැටලු මතු විය හැක. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීම, නිවැරදි උපදෙස් භාවිතා නොවීම, පුද්ගල ආරක්ෂණ උපකරන පැලදීම ප්‍රතික්ෂේප කිරීම, මැලි කමක් දැක්වීම මෙන්ම තමන් නිරාවරණය වී සිටින්නේ කුමන ආකාරයේ වෘත්තීමය සෞඛ්‍ය ගැටලුවකට ද යන්න පිළිබදව දැනුවත් නොවීම හේතුවෙන් සේවකයින් නිරන්තර රෝගාබාධයන්ට ලක් වේ. ඉදින් මෙම ගැටලුවට නීති පැනවීම පමණක් ප්‍රමාණවත් වේවි ද? නැත.
නීති පැනවීමත් සමගම සේව්‍ය සේවක දෙපාර්ශවයම දැනුවත් කිරීම, පුහුණු කිරීම හා එම ගැටලු අවම කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කල යුතුය. සේව්‍ය සේවක දෙපාර්ශවයේම දැක්ම හා අරමුණු වල සැබෑ වෙනසක් සිදු කල යුතුය.

මෙම අවශ්‍යතාවයන් සැපිරීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇත. කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය මගින් යම් කර්මාන්තයකට අවශ්‍ය වෘත්තීමය සුරක්ෂීතතාවය පිළිබද උපදෙස්, තත්ව සහතික හා පුහුණු පාඨමාලා ලබා ගත හැක. ශ්‍රී ලංකා රජයේ අනුමත සහතිකයන් තම කර්මාන්තයට ලබා ගැනීමට හැකි වනවා සේම මෙම ක්ෂේත්‍රයේ වසර ගණනක ජාතික හා අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් හා පුහුණුව ලත් නිළධාරීන්ගේ සේවාව හා අනුමැතියන් ඔබ ආයතනයට ලබා ගත හැක.

ඉහත දැක්වූ ආකාරයේ සේවාවන් ලබා දීමට සමත් පෞද්ගලික ආයතන බොහෝමයක් ද ලංකාවේ ආරම්භ කර ඇත. හුදෙක්ම ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් අරමුණු කරගත් එම ආයතන වෙතින් සේවකයාගේ වෘත්තීය සුරක්ෂිතතාවය මනාව රැකේවි යැයි විශ්වාස කල නොහැක. එනමුත්, රාජ්‍ය ආයතනයක් වශයෙන් ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් හා යාවත්කාලීන වන අත්දැකීම් හරහා තම සේවාවන් බෙදා හරියි.

ඔබ ආයතනයේ වෘත්තීමය රෝග හා අනතුරු සදහා අවදානමක් ඇතැයි ඔබට සිතෙන්නේ නම් ඒ සදහා පිළියම් යෙදීමට ප්‍රමාද වෙන්න එපා. සෞඛ්‍යමත් ශ්‍රම බලකායක් යනු ආයතනයේ සහ රටේ දියණුවයි!!